ජනවාරි 08 – සමාජවාදයට අත වනයි

11665515_897521390319621_438366746889682647_n

“ජනවාරි 08 – අන්න මචං පට්ට දවස.
ඒකාධිපතිත්වය පරදවලා නිදහස දිනපු දවස.”
ගොඩක් අය එහෙම කිව්වා. දැන් ටිකක් ඒ සද්දේ අඩුවුණාට මොකෝ “මගේ ජීවිත කාලේදි දැකපු එකම විප්ලවය” කියලත් චින්තන ධර්මදාස සත්හඬ පත්තරේට ලියලා තිබුණා .

කලින් කිව්වා වගේම දැන් අපායට ඉන්ටර්වල් නේ. දැන් ඉතින් “පෙරළියට කරළිය හැදූ” රවීලා, “වෙනසට හඬ දුන්” සන්නස්ගලලා වගේම “මහින්ද සමග ජාතියේ වීරවංශය ලියන” විමල්ලා, “අයුක්තියට එරෙහි නිර්භීත” කත්‍රිආරච්චිලත් තාප්ප දිගේ හිනාවෙනවා.

අඩුවුණේ ජාතියට කුඩු දුන් සිල්වයි, ජාතියට ආතල් දුන් සිල්වයි, ජාතියේ පියාගේ පුතාලට බඩු ගෙනත් දුන් ගුණවර්ධනයි, රඹුටන් ඇට දෙකෙනුත් කප්පම් ගත්තු ගුණවර්ධනයි විතරයි.  කුඩු සිල්වා ලිස්ට් එකෙන් හැලුවම ජාතියේ කුඩු හිඟයක් ඇතිවෙයි කියන සර්වජන හිතවාදීත්වය නිසා ඕං ලන්සාටත් ගම්පහින් නාමයෝජනා දුන්නා.

එතකොට ජනවාරි 08 ගැන කියන්න ගිහින් හිතුවක්කාරයා අහිංසකයෝ පට්ට ගහන්නේ මක්කෙයි මේ?. කොක්කෙන් බැරිනම් කෙක්කෙන්, බැරිම වුණොත් බෙලෙක්කෙන්, එල්ලලා දාලා බොලොක්කෙන්, කපලා දාන්න ඕන වුණ නිසාද මේ “අහිංසකයෝ“ ටික මහජනතාවගේ බොක්කෙන්?.
නෑ. ඕනවුණේ මේ මහත්තුරු කෑමොර දෙන තරම් විප්ලවයක් මෙතන නෑ කියන්න උදාහරණ දෙන්න.

හෙනං? කියන්නේ සුදු වෑන්වලින් මාධ්‍යවේදියෝ පැහැරගත්තු, දේශපාලන ක්‍රියාකාරිකයෝ අතුරුදන් කරපු, නිදන් කොල්ලකාපු, සංවර්ධනේ මුවාවෙන් දූෂණය රජකරවපු කාලයක් තිබුණේ නෑ කියලද?.
ඔව්. තිබුණා.

හෙනං? මක්කෙයි කියන්නේ, ජනවාරි 08 වැඩේ විප්ලවයක් නෙවෙයි කියලා.?
ඔව්. අත් දෙකම උස්සන්නං. හැබැයි මේ ටිකත් ලිව්වට පස්සේ. නම් ගම් එක්ක පට්ටන්දරයක් දිගෑරියේ ඔන්න ඔය කියන “පට්ට විප්ලවයේ“ ප්‍රතිඵල පෙන්නන්න.

මරාලා වගේ මිනිස්සු බිහිකරන සිස්ටම් එක වෙනස් කරනවා වෙනුවට ඒ සිස්ටම් එක “සාධාරණව, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස” (දෘෂ්‍යමාන නාමිකව) කරගෙන යන්න වෙන කෙනෙක් ගෙනාපු එක හත්පොලේ ගා ගැනිල්ලක් කියලා පෙන්නන්න. මේක කෙලවෙලා හතරගාතෙන් වැටිලා හිටපු රනිල්ලට, නයායි පොල්ලයි පෙන්නලා සිල්ගත්තු ලාල්කාන්තලට රජ මගුලක් වෙයි. මොකද “හැබෑටම මේ තියෙන ටික රැකගෙන මිනිස්සුන්ට සහන දෙන්න අපෙන් හොඳ කට්ටියක් යවමුද?” අහන්න දැන් රනිල්ටයි, අනුරටයි දෙන්නටම පුළුවන්.

හෙනං “ජනවාරි 08 – සමාජවාදයට අත වනයි” කියලා හිතුවක්කාරයා කියන්නේ මක්කෙයි?
ජනවාරි 08න් පස්සේ ඒක තමා “පට්ට විප්ලවය” කියපු අය තක්කු මුක්කු වුණු තැන තමා ගෙදර යවපු මහින්දට ආපහු පාර්ලිමේන්තුවට එන්න නාමයෝජනා ලැබුණු එක. “මහින්දට නාමයෝජනා දීමට මං විරුද්ධයි.” “අගමැති කරන්න මහින්දට වඩා ජ්‍යෝෂ්ඨයෝ ශ්‍රීලනීපය ඇතුලේ ඉන්නවා” වගේ සිඟිති ආතල් ටිකක් මෛත්‍රිපාල ජනාධිපතිවරයා දුන්නට පස්සේ, “දැන් කළයුත්තේ මෛත්‍රිපාල පාවාදුන්නද නැද්ද යන්න සෙවීම නොව මහින්දව නැවත කුජීත කර ගෙදර යැවීමයි” කියලා නිර්මාල් දේවසිරි වගේ ඇකඩමික් ආචාර්යවරු කියන්න පටන් අරන්.

ජනවාරි 08 විප්ලවයක් ගැන කයිවාරු ගහන, මහින්ද කුජීත කරන එක සිම්පල්ය කියන ඔය මහත්තුරුන්ට අමතක වෙන කාරණේ තමා ජනවාරි 08 වෙද්දි මහින්දට තිබුණු චෝදනා සියල්ල තිබියදී පවා මහින්දට ඡන්දේ දුන්නු ලක්ෂ 58ක් සිරිලංකාදීපේ හිටියයි කියන එක. මහින්ද කුජීත කරත් “සාටක චින්තන” දෘෂ්ටිවාදේ එලවන එක සෙල්ලං කාරියක් නෙවෙයි කියන එක.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා එයාගේ “හද හඬනා නිහඬ රැයේ“ කතාවෙදි කියනවා “අමතක කරන්න එපා. මන්ත්‍රීකම් හතලිස් ගාණක් තිබුණු පක්ෂයකට මං ආණ්ඩුව දුන්නේ අමාරුවෙන්.” “19 සම්මත කරගත්තේ බොහොම අමාරුවෙන්'” වගේ කතා. ඒක අහන් ඉන්න යූ.ඇන්.පී.ය කියනවා “වෙනස ඇරැඹූවා පමණයි. ඉතුරු ටිකත් වෙනස් කරන්න අපට 113ක් දෙන්න” කියලා. ජ.වි.පෙ. කියනවා “අනිත් උන්ට මජර වෙන්න ඉඩ නොතියා අපට ප්‍රධාන විපක්ෂය දෙන්න” කියලා. ඒත් කියන්න ඕනේ අපි ජනවාරි 08 දිහා බලන්නේ ඔය වගේ සුළු කෝණවලින් නොවෙයි කියලා.

ඉතින් දැන් පැහැදිලියි “ජනවාරි 08 – සමාජවාදයට අතවනන” තැන. මේ සියල්ල අතරේ මතු නොවෙච්ච, දක්ෂිණාංශික “නවීන සමාජවාදියෝ” සහ නාමික වාමාංශික “නව ලිබරල් බුද්ධිමත්තු” වෙන වෙන බෝල බස්සලා යටකරපු, රනිල්ගේ ව්‍යාපෘතිය ගොඩදාන “පට්ට පත්තර”වල “පට්ට මාධ්‍යවේදියෝ” මතු නොකරපු, වමේ වැඩේ කරන්න හදපු ඒත් කුළුගෙඩි – ලියුම් කවර ඡන්ද සටන්වල පැටලිලා ට්‍රැක් පැනගෙන යන වාමාංශික පක්ෂවලට මගහැරුණු, සමාජවාදයේ සිම්පල් ඒත් ප්‍රබල පදනම් කාරණයක් ජනවාරි 08 සිද්ධියෙන් නැවත නැවතත් තහවුරු වුණා කියන එක.

මක්කෙයි ඒ?. වෙන මක්කවත් නෙවෙයි ක්‍රමය වෙනස්කරන එක තනි පුද්ගල කාරණයක් නෙවෙයි සාමූහික සමාජමය කාර්යයක්ය කියන එක. වෙනිසුවෙලාවේ, සැල්වදෝරයේ මඩේ දදා හෝදපු මේ කාරණේ ලාංකීය භූමියෙත් පොලොවේ ගගහා හෝදන්න තවත් ඕනේ නැහැ.

ජනවාරි 08 සාක්කිය, දුප්පතුන්ගේ නඩුව විසඳන්න මැදිහත් වෙන ඇත්ත වමේ ව්‍යාපාරයකට තවමත් මේ පොළොවේ ඉඩ තියෙනවාය කියන එකට බරපතළ උදාහරණයක්.

Personage74.mp4

“ඔව්. කියුබාව තනියෙන්. හැබැයි ඉහලින්ම.” කියලා ෆිදෙල් සහෝදරයා කිව්වා වගේම,
“ඒ දවස හෙට නොවේ අද” කියලා රතු හිතුවක්කාරයා හැමදාම විශ්වාස කරනවා.

හෙනං, සමාජවාදයට ජය!!!

Advertisements

One Comment Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )